පාවෝ රෝගය Canine Parvo Viral Diarrhea

Dog with parvo

පාවෝ රෝගය බලු පැටවුන් අතර ඉතා සුලබ මාරාන්තික ලේ පාචන රෝගයකි. එම නිසා බලු පැටවුන් ඇති කරන සියලු දෙනා‚ මෙම රෝගය ගැන දැන සිටීම ඉතා වැදගත් වේ. පාවෝ රෝගය වෛරසයක් මගින් ඇතිවේ. මෙම රෝගය ආසාදිත සතෙකු සමග කෙළින්ම ස්පර්ශයෙන් හෝ විෂබීජ තැවරුණු ද්‍රව්‍ය මගින් ව්‍යාප්තවේ. ආසාදිත සතෙකුගේ මල පහ සමග ප්‍රධාන වශයෙන් වෛරසය පරිසරයට එකතුවේ. එම විෂබීජ තැවරුණු කෑම, ජලය, කෑම බඳුන් සහ සෙල්ලම් බඩු වැනි ද්‍රව්‍ය මගින් වෛරසය තවත් සතෙකුගේ ශරීරගත වේ. බලු පැටවුන් නිතරම ඉව කිරීම, ලෙව කෑම සහ ආසාදිත මල පහ කෑම සිදු කරයි. එමගින් මෙම වෛරසය ශරීර ගතවිය හැක. ආසාදිත සතෙකු අතගෑමෙන් පසු දෑත් පිරිසිදු නොකර වෙනත් සතෙකු ඇල්ලීමෙන් ද රෝගය ව්‍යාප්ත විය හැක.

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ආමාශය සහ බඩවැල් ආශ්‍රිතව වර්ධනය වේ. එම නිසා බඩවැල් වල සහ ආමාශයේ බිත්ති තුවාල වී රුධිරය වහනය වේ. ඊට අමතරව ඇටමිදුලු, වසා පටක සහ හදවතටද බලපෑම් ඇති කරයි.

වයස සති 6 සිට මාස 6 දක්වා බලු පැටවුන් හට මෙම රෝගය වැළදීමේ වැඩි අවදානමක් පවතී. සාමාන්‍යයෙන් මවු සතා ක්‍රමවත් ව එන්නත් කර ඇත්නම්‚ මවගෙන් ලැබෙන ප්‍රතිදේහ සති හයක පමණ කාලයක් පැටවාගේ ශරීරය තුල පැවතී, එම නිසා එම පැටවුන්ට වයස සති 6 ක් පමණ වන තෙක් රෝගයට ප්‍රතිශක්තිය පවතී.

රෝගයේ බර පතල භාවය සතාගේ ප්‍රතිශක්තිය අනුව වෙනස් වේ. බොහෝ විට පැටවුන් මවගෙන් වෙන් කිරීමේ දී ඇතිවෙන ආතති තත්වය සහ නිසි පෝෂණයක් නෙලැබීම ප්‍රතිශක්තිය දුර්වල වීමට හේතුවේ. සමහර අවස්ථා වල දී පණුවන් වැනි වෙනත් ආසාදන ඇති විට රෝගය බර පතල විය හැක.

සතෙකුට ආසාදනය වී දින 5ක පමණ කාලයක සිට වෛරසය පැතුරවීමේ හැකියාව පවතී. මෙම අවස්ථාවේ දී සතා රෝගී බව හඳුනා ගත නො හැක. සතා සුව වීමෙන් පසු ද දින 10ක් පමණ වෛරස පැතුරවීමේ හැකියාව පවතී. එම නිසා සුවවු සතුන් එන්නත් කර නොමැති සතුන්ගෙන් ඈත් කර තැබිය යුතු ය.

මෙම වෛරසය පරිසරය තුල සජීවී ව පවතින කාලය පරිසර තත්වය මත වෙනස්වේ. එය මාසයක සිට අවුරුදු ගණනාවක් දක්වා විය හැක. එම නිසා මෙම වෛරසය විනාශ කිරීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් ඔබේ පශූ වෛද්‍යවරයාගෙන් විමසන්න.

පාවෝ රෝගය වැළඳුණු සතෙකුගේ ප්‍රධාන රෝග ලක්ෂණ පහත පරිදි වේ,

  • ලේ බඩ යෑම (අධික දුගඳක් සහිතව දුඹුරු හෝ රතු පැහැයෙන් මල පහ පිටවීම සහ මල පහ ඈතට විදීම Shooting diarrhea)
  • වමනය
  • උන
  • අලස බව
  • කෑම අරුචිය
  • බර අඩුවීම
  • දුරවල බව
  • විජලනය

මුල් අවස්ථාවේ දී  මෙම රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් පැවතිය හැක. ඔබේ සුරතලාට පාවෝ රෝගය වැළදී ඇතයි සැක කරනවා නම් ඉතා ඉක්මනින් පශූ වෛද්‍යවරයෙකු වෙත යා යුතු අතර එම අවස්ථාවෙ දී ඔබ මෙම රෝග ලක්ෂණ මුලින් ම වෛද්‍යවරයාට පැවසිය යුතු ය. එය මෙම සතා වෙනත් සතුන්ගෙන් වෙන් කර තැබීමට පහසු වනු ඇත.

Dog wth parvo

පාවෝ රෝගය හඳුනා ගැනීම ප්‍රධාන වශයෙන් රෝග ලක්ෂණ මගින් සිදු කරයි. අවශ්‍ය වුනොත් මල පහ නියැදියක් යොදා ගෙන සිදු කරන පරීක්ෂණයක් මගින් රෝග විනිශ්චය සනාථ කල හැක. නමුත් මෙම රෝගයට ප්‍රතිකාරයක් නොමැත. එම නිසා වෛද්‍යවරුන් විසින් වමනය, පාචනය සහ විජලනය වැනි රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කරණු ලැබේ. මෙම වෛරසය මගින් සතාගේ ප්‍රතිශක්තිය දුර්වල කරන බැවින්‚ ද්විතීයිකව බැක්ටීරීයා ආසාදන ඇතිවිය හැක. එම නිසා ප්‍රතිජීවක ඹෟෂධ ලබා දේ.

මෙය මාරාන්තික රෝගයක් වන අතර 10% සිය 30% පමණ සතුන් මිය යයි. රෝගය සුව වීමට සතියක පමණ කාලයක් ගතවේ. නමුත් මෙය සතා අනුව වෙනස් විය හැක.

රෝගය වළක්වා ගැනීම

මෙය මාරාන්තික රෝගයක් වුවත් වළක්වා ගත හැක. එම නිසා සියලු ම පැටවුන් සහ වැඩිහිටි සතුන් නිසි ආකාරයෙන් එන්නත් කල යුතු ය. විශේෂයෙන් මවු සතුන් නිසි ආකාරයෙන් එන්නත් කර තිබීමෙන් කුඩා පැටවුන්ට මුල් සති කීපයේ දී අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබේ. කුඩා  පැටවුන් එන්නත් නොකල සතුන් සමග ගැටීම වැළැක්විය යුතු ය.

පාවෝ රෝගය ඉතා සීග්‍රයෙන් පැතිරෙන බැවින්  මෙම රෝගය වළක්වා ගැනීම සඳහා පිරිසිදු පරිසරයක බලු පැටවුන් තබා ගැනීම ඉතා වැදගත් වේ. එන්නත් නොකල පැටවුන් කිසියම් හේතුවක් නිසා පිටතට රැගෙන යන්නේ නම් විවිධ ස්ථාන ලෙව කෑම, ඉව කිරීම සහ විවිධ දේ ආහාරයට ගැනීම වැළැක්විය යුතු ය. නිතර සතුන් ගැවසෙන ස්ථාන වල බිම ඇවිදීම වැළැක්විය යුතු ය.

ඔබගේ සුරතලා පාවෝ රෝගයෙන් ආරක්ෂිත වන්නේ සති 14 -16 අතර ලබා දෙන දෙවන පාවෝ එන්නත ලබා දී සති කිහිපයක් ගත වූ පසු බව මතක තබා ගන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top