බළලුන් අතර සුලබතම වෛරස් රෝගය ලෙස cat flu හැඳින්විය හැක. මෙම රෝගය ඉතා දරුණු විය හැකි අතර සමහර අවස්තා වලදී ජීවිත අවදානමක්ද පවතී.
බොහෝවිට මෙම රෝගයට හේතු වන්නේ ප්‍රධාන වෛරස් දෙකකි. ඒවා feline calicivirus (FCV) සහ feline herpes virus (FHV, or FHV-1) ලෙස හඳුන්වයි. මෙම රෝගයේ ලක්ෂණ ලෙස නාසයෙන් දියර ගැලීම, නාසය සිරවීම, ඇස් රතු වීම සහ කඳුළු ගැලීම, කනෙන් දියර ගැලීම, ආහාර අරුචිය, උණ, කැස්ස, කටේ සහ දිවේ තුවාල ඇතිවීම, අධික ලෙස කෙළ ගැලීම සහ ඇසෙහි තුවාල දැක ගත හැක. කුඩා පූස් පැටවුන්ට, වයස්ගත සතුන් සහ ප්‍රතිශක්තිය දුර්වල සතුන්ට මෙම රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතී. මෙම රෝගය වැළඳීමෙන් පසු ඇතිවෙන ද්විතීක ආසාදන හේතුවෙන් ඇතිවෙන නිව්මෝනියා තත්වයෙන් හා ආහාර පාන නෙගැනීමෙන් සිදු වන විජලනය හේතුවෙන් බොහෝ විට මරණය සිදුවේ.
මෙම රෝගයට දැඩි අවදානමක් ඇති සතුන්
මෙම වෛරස් විශාල වශයෙන් පූසන් අතර පැතිර පවතී. වැඩි වශයෙන් පූසන් සිටින ස්ථාන වල මෙම රෝගය පැතිරීමේ දැඩි අවදානමක් පවතී. ඒ අතරම මෙම රෝගයට එරෙහිව එන්නත් නොකල සතුන් සහ පූස් පැටවුන් අතරද රෝගය ඉක්මනින් පැතිරේ. වයස්ගත සහ ප්‍රතිශක්තිය අඩු සතුන් (විශේෂයෙන් පූසන්ගෙ ප්‍රතිශක්තිය දුර්වල කරන වෛරස් FeLV or FIV ආසාදිත සතුන්) අතර මෙම රෝගය දරුණු ලෙස පැතිර යයි.
බළලුන්ගේ ඉහල ශ්වසන මාර්ග ආසාදනයට හේතු කාරක
මෙම රෝගයට ප්‍රධාන වශයෙන් වෛරස් වර්ග දෙකක් හේතුවේ.
- Feline herpes virus (FHV or FHV-1, feline rhinotracheitis virus)
- Feline calicivirus (FCV)
මීට අමතරව තවත් ක්ෂුද්‍ර ජීවීන් මෙම රෝගයට හේතුවේ. Bordetella bronchiseptica නැමති බැක්ටීරියාව කිඹුහුම් ඇරීම, නාසයෙන් දියර ගැලීම සහ කැස්සට හේතුවේ. Chlamydophila felis මෙම බැක්ටීරියාව ඇස්වල සහ කණේ ඇතිවන ආසාදන වලට හේතුවේ.
බළලුන්ගේ ඉහල ශ්වසන මාර්ග ආසාදනයේ රෝග ලක්ෂණ.
වෛරස් ආසාදනයෙන් පසු රෝගය වර්ධනය වීමට දින 2ක සිට දින 10ක පමණ කාලයක් ගතවිය හැක. රෝගය වර්ධනය වීමෙන් පසු පහත ලක්ෂණ දැකගතහැක,
- කිඹුහුම් ඇරීම
- නාසයෙන් දියර ගැලීම
- කනෙන් දියර ගැලීම
- අලසබව
- කෑම අරුචිය
- උණ
මෙම රෝග ලක්ෂණ සතුන් අතර සැලකිය යුතු ලෙස වෙනස්වේ. සමහර සතුන් රෝග ලක්ෂණ ඉතා සුලුවෙන් පෙන්වයි.
පැහැදිලිව හඳුනාගත නොහැකි වුවත් මෙම වෛරස් දෙවර්ගයේ රෝග ලක්ෂණ වල වෙනස්කම් පවතී.
FHV ආසාදනය බොහෝවිට දරුණු වන අතර පැහැදිලි අක්ෂි පටල ආසාදනයක් සහ ඇසේ තුවාල දක්නට ලැබේ. මෙම වෛරසය නිසා ඇතිවන ග්‍රසනිකා ප්‍රදාහය නිසා ආහාර ගැනීම අපහසුවේ. ශ්වාසනාලයේ ඉදිමීම හේතුවෙන් කැස්ස ඇතිවේ.
FCV ආසාදනය මගින් කටේ, දිවේ සහ තොල්වල තුවාල ඇතිවේ. මෙම වෛරසය මගින් ඇති වන සන්ධිප්‍රදාහය නිසා ඇවිදීමේ අපහසුතාවයක් දකියහැක. කුඩා පැටවුන්ට නිව්මෝනියා තත්වයක් ඇතිවේ.
මෙම වෛරස් ආසාදන වලට අමතරව ඇතිවන ද්විතීක ආසාදන නිසා අකෂි පටල ආසාදන, නාසයේ ආසාදන, නිව්මෝනියා වැනි රෝගී තත්වයන් ඇතිවේ.
බෙහෝ සතුන් මෙම ආසදනයෙන් සුව වන නමුත් සමහර සතුන් මරණයට පත්වේ. දරුණු ආසාදනයකින් සුව වීමට සති කීපයක් ගතවිය හැක. සුවවු පසුවද සමහර සතුන්ගේ නාසයේ ආබාධ හෝ දියර ගැලීම පැවතිය හැක.
රෝග විනිශ්චය
සුදුසුකම්ලත් පශු වෛද්‍ය වරයෙකු බෙහෝවිට රෝග ලක්ෂණ මගින් රෝග විනිශ්චය සිදුකරයි. වෛරසය කුමක්දැයි හඳුනාගැනීමට විවිධ පරීක්ෂණ තිබුනද එය අත්‍යවශ්‍ය නොවේ.
ප්‍රතිකාර
රෝග ලක්ෂණ අනුව උපකාරක ප්‍රතිකාර ලබාදේ. ද්විතීක ආසාදන වැලැක්වීම සඳහා පශු වෛද්‍යවරයා විසින් ප්‍රතිජීවක ලාබාදේ.
ඇතිවන කෑම අරුචිය නිසා බොහෝවිට මෘදු ආහාර ලබාදිය යුතුය. රෝගී තත්වය උග්‍ර අවස්ථා වලදී විවිධ නික්ෂේපණ ක්‍රම මගින් ඖෂධ ලබාදේ. සමහර අවස්ථා වලදී විවිධ ප්‍රති වෛරස් ඖෂධ වර්ගද ලබාදිය හැක.
සතාගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම ඉතා වැදගත්වේ. සෑමවිටම ඇස්වල සහ නාසයේ ශ්‍රාවයන් පිරිසිදුකර තබාගත යුතුය.
බොහෝ සතුන් සුව වීමෙන් පසු රෝග වාහකයන් බවට පත්වේ. එමගින් රෝගය නීරෝගී සතුනට බෝවියහැක.
රෝග පැතිරීම
- ආසාදිත සතුන් සමග ස්පර්ශය
- රෝග වාහක සතෙකු සමග ස්පර්ශය
- ආසාදිත සතුන් භාවිතා කල කෑම, කෑම භාජන, රෙදි වැනි ද්‍රව්‍ය වලින්
- වෛරසය පරිසරයතුල දින 10ක් දක්වා පැවතිය හැක
රෝගය වළක්වා ගැනීම
රෝගයට එරෙහිව එන්නත් කිරීම මගින් රෝගය පාලනය කළහැක. නමුත් මෙම වෛරස්වල විවිධ මාදිලි ඇති බැවින් සැමවිටම එන්නත මගින් ආරක්ෂාව නොලැබේ.
සතුන් ජීවත්වන ස්ථාන පිරිසිදුකාරක යොදා පිරිසිදු කිරීම මගින් රෝගය පාලනය කල හැක.
by Dr. Thushara Mathota