කොරෝනා වෛරසය මුලින් ම 1960 දශකයේ දී මිනිසුන්ගේ සෙම්ප්‍රතිශ්‍යා රෝගයේ ප්‍රදාන රෝගකාරකයක් ලෙස හඳුනා ගැනුනි. කොරෝනා වෛරසය විශාල වශයෙන් සතුන් අතර ද පැතිරී පවතින නමුත් ඒම සියලු ම වෛරස මිනිසුන්ට බලපෑම් ඇති නොකරයි. සුරතල් සතුන් ගැන කතා කිරීමේ දී බල්ලන්ට ඇතිවෙන කොරෝනා වෛරස් පාචන රෝගය ප්‍රදාන තැනක් ගනී.
වැදගත් ම දෙය වන්නේ මිනිසුන්ගේ කොරෝනා වෛරසය සහ සතුන්ගේ කොරෝනා වෛරස් එකතුව නව වෛරස් මාදිලි නිර්මාණය විය හැකි වීමයි. මෙය නිරන්තරයෙන් සිදු වුවද බොහෝ වෛරස දුර්වල නිසා විනාශයට පත්වේ. නමුත් කලාතුරකින් ප්‍රබල වෛරස නිර්මාණය විය හැක.
එවන් අවස්ථාවල වෛරසය වසංගතයක් ලෙස පැතිර යයි. උදාහරණ ලෙස Severe Acute Respiratory Syndrome (SARS) සහ Middle East Respiratory Syndrome (MERS) දැක්විය හැක. වසර 2003 දී SARS වසංගතයෙන් මිනිසුන් 800ක් පමණ මියගිය අතර මෙම වෛරසය වවුලන් සහ උරුලෑවන් ගෙන් ආරම්භ වු බව සැලකේ. 2014 දී MERS වසංගතයෙන් මිනිසුන් 282ක් මියගිය අතර එම වෛරසය ඔටුවන්ගෙන් ආරම්බ වු බව සැලකේ.
2019-CoV නව කොරෝනා වෛරසයේ ආරම්භය ගැන තවමත් පරීක්ෂණ පවත්වන අතර සතුන්ගේ කොරෝනා වෛරස 200 සමග පමණ සැසඳීමේ දී මෙම වෛරසය සර්පයන් සහ වවුලන් ගෙන් ආරම්භ වුවක් බවට සැලකේ. කෙසේ වෙතත් මෙම වෛරසය සීග්‍රයෙන් පැතිරෙමින් පවතී.
වැදගත් කරුණක් වන්නේ මෙම වෛරසය සුරතල් සතුන්ට බෝවන බවක් මෙතෙක් වාර්තා නොවීමයි. නමුත් සියලු ම ක්ෂීරපායින් මෙම වෛරසයේ වාහකයන් විය හැක. රෝග වාහකයා තුල වෛරසය වර්ධනය වී වෙනත් සතුන්ට හා මිනිසුන්ට බෝවිය හැක.
මෙම රෝගයට කිසිම ප්‍රතිකාරයක් නොමැති බැවින් රෝගය වළක්වා ගැනීම ඉතා වැදගත් වේ. රෝගය වළක්වා ගැනීම සඳහා රෝගය බෝවෙන ආකාරය ගැන නිසි අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ.
මෙම වෛරසය මිනිසුන්ගේ ශ්වසන මාර්ගය ආශ්‍රිතව වර්ධනය වේ. ආසාදිත පුද්ගලයෙකුගේ කෙළ, සෙම, සොටු වැනි ද්‍රව්‍ය හා කැස්ස සහ කිවිසුම ඇරීමේ දී පිටවෙන බිඳිති මගින් රෝගය වියාප්ත වේ. සතෙකුගේ ශරිර ගත නොවී සාමාන්‍යයෙන් කොරෝනා වෛරසය දින 6ක් පමණ පරිසරයේ අජීවී පෘෂ්ඨ මත පැවතිය හැක. මෙම ස්තාන ස්පර්ශ කිරීමේ දී වෛරසය ආසාදනය විය හැකි බැවින් නිතර දෑත් සේදීම හා මුහුණ, කට ස්පර්ශ නොකිරීම ඉතා වැදගත් වේ.
බල්ලන් සහ පූසන් රෝග වාහකයන් වීමේ හැකියාවක් ඇතත් මේ වන තෙක් එය තහවුරු කර නොමැත. කෙසේ වෙතත් ඔබේ සුරතලුන් රෝගයට නිරාවනය නොවන සේ තබා ගැනීමෙන් අවදානම අඩු කර ගත හැකි වේ. ඒ සඳහා ඔබේ සුරතලා ජනාකීර්ණ ස්තාන වලට රැගෙන යාමෙන් වැලකීම සහ එසේ රැගෙන යන්නේ නම විවිධ දේ ඉව කිරීමට හා ලෙවකැමට අවස්ථාව ලබා නොදෙන්න. සැම විටම සුරතලා ඇල්ලීමෙන් පසු සබන් යොදා දෑත් සෝදන්න.
පශු වෛද්‍ය තුෂාර මාතොට
